Site Overlay
ප්‍රජාසේවා

දැක්ම . . .

බෝසත් හෙටක් - Bosath Hetak

බෝසත් ගුණයෙන් පිරිපුන් අනාගත පරම්පරාවක් නිර්මාණය කිරීම තුලින් ශ්‍රී ලංකා ධරණී තලය තුල “බෝසත් හෙටක්” නිර්මාණය කිරීම.

මෙහෙවර . . .

බෝසත් හෙටක් නිර්මාණය කිරීම උදෙසා ළමා සහ වැඩිහිටි පරම්පරාවන්ට අවැසි දැනුම, ආකල්ප සහ හැසිරීම් වර්ධනය කර ගැනීමට ක්‍රියාකාරම් සිදුකිරීම.

වැඩසටහන් සාරාංශය

නිළ ඇදුම් සංඛ්‍යාව 3883

පැළ සංඛ්‍යාව 108

දහම් පාසල් සංඛ්‍යාව 24

මෙහෙවර ගැන . . .

මෙහෙවර ගැන . . .

බෝසත් හෙටක් – මෙය හෙට නොව අදම අවැසි තත්වයකි.ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයම අද වන විට සත්‍යයෙන් තොරව අසත්‍යයට හසුව කටයුතු කරන යුගයක අපට නන් දෙසින් අසන්නට දකින්නට ලැබෙනුයේ මනුෂ්‍යයා සුගතිකට පිවිසීමට කරන කටයුතු නොව අත්‍යන්තයෙන් ම අපාගත වන කරුණු කාරණාය. නිසැකයෙන්ම මෙයින් මිදිය යුතු , මිදවිය යුතු අවශ්‍යතාවයකි.ඒ සදහා මගපෙන්වීමට හා ඒ තුළ හැසිරීමට අවශ්‍යය උපදෙස් ලබා දීමට ලැබීම බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් හැටියට මහත් භාග්‍යයක් කොට මම සළකමි.

මහරගම විජය සමූහ ව්‍යාපාරය නිරන්තරයෙන් ම ව්‍යාපාර කටයුතු වලින් ඔබ්බට ගොස් සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරන ආයතනයකි.එහි මග පෙන්වන්නා දැහැමින් ධනය උපයා රටට දැයට සේවය කොට තම යුතුකම් ඉටු කරන වණික්පතියෙකි. හේ නමින් වණික්පති ධර්ම ශ්‍රී කේ.ආර් ජී.විජේසුන්දර ශ්‍රීමතානණ්ය. ඔහුගේ මග පෙන්වීම ඔස්සේ ජීවිකාව කරන සහෘද සේවක කාර්ය මණ්ඩලයේ නොමසුරු කාර්ය හැකියාව ප්‍රකට කරවමින් නිර්මිත බෝසත් හෙටක් නැමැති බෞද්ධ සංවිධානය ඉතා අගය කළ යුතු සංවිධානයකි.එසේ වන්නේ, ඔවුන් මෙම සංවිධානය තුළින් සිදු කරන කාර්යභාරය සහ ඒ සදහා අරමුදල් සපයා ගැනීමේ ක්‍රමවේදය පැසසිය යුතු කරුණක් නිසාවෙනි.තම ආයතනය තුළින් බැහැර කරන පොලිතීන් සහ කාඩ්බෝඩ් වැනි දේ නිකරුනේ පරිසරයට මුදා නොහැර ඒවා එක් ස්ථානයකට එකතු කොට අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් බෝසත් හෙටක් අරමුදලට යොදවා ඒතුළින් දහම් පාසල් සහ පාසල් දරුවන්ට තම නිළ ඇදුම් අවශ්‍යතාවය සපුරා ගැනීමට සහාය වීම මෙහි මූලික අරමුණු කොට සකසා ගත් පුණ්‍යවන්ත සංවිධානයකි.අද වන විට එම කාර්ය මණ්ඩලය කාඩ්බෝඩ් කැබැල්ලක් පවා ඉවත නොදමා එකතු කරනු ලබන්නේ,අධ්‍යාපනය ලබන දැයේ දූ දරුවන්ගේ පාසල් නිළ ඇදුම් අවශ්‍යතාවය සපුරා ලීමේ උතුම් පරමාර්ථයෙනි.එය කාලීන අවශ්‍යතාවයක් මෙන්ම මහගු පුණ්‍යකර්මයකි.

මෙවන් උදාර සමාජ සත්කාරක වැඩසටහන් වල නිරත වීමට බෝසත් හෙටක් බෞද්ධ සංවිධානයේ සමස්ථ කාර්ය මණ්ඩලයට ශක්තිය, ධෛර්ය ලැබේවායි ආශිර්වාද කරමි.

තෙරුවන් සරණයි!

පූජ්‍යපාද හපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ.

මෙහෙවරට අනුදැනුම . . .

මෙහෙවරට අනුදැනුම . . .

ශ්‍රී ලංකාව වූ කලී බුදු දහමින් සුපෝෂණය වූ සාරධර්ම මූලික සමාජ සංස්කෘතියකින් හෙබි පෞරෂණීය ජනවින්‍යාසයකින් හෙබි සම්මානනීය බෞද්ධ රාජ්‍යකි ඒ ගෞරවය අප මුතුන් මිත්තන් අතීතයේ ජීවිතය ජීවත් කල ආකාරය නිසාවෙන් ලැබුන සම්මානයකි එය එසේ වුවද අද තත්වය ක්‍රමයෙන් වියැකී යන තත්වයක් දැකිය හැක. එය අන් කවරක් නිසාවත් නොව වර්තමාන ජන සමාජයේ ජීවත් වන අපිම විසින් දක්වන හැසිරීම් රටාවේ ඇති කරගත් වෙනස්කම් නිසාමය. මෙය සුභවාදී තත්වයක් නොවේ. “මිනිසා හදා රට හදමු” යන මැය අද සමාජයට ඉතා අවශ්‍ය තත්වයක් වන සේම එ තුලින් බෝසත් ගුණයෙන් පිරිපුන් බෝසත් පරපුරක් නිර්මාණය කර ගැනීම තුලින් වියැකෙමින් යන ශ්‍රී ලාංකීය අභිමානය නැවත ගොඩ නගන්නට හැකි වනු ඇත.

බෝසත් හෙටක් නැමති බෞද්ධ සංවිධානය නිර්මාණය වනුයේ ඉහත අවශ්‍යතාවය නිසාවෙනි. ඒ සඳහා අප සමාගමේ දූ දරුවන් ගන්නා උත්සහය ඉතා අගනේය. ඒ සඳහා අනුශාසකත්වය සහ මඟපෙන්වීමට ලැබීම ඉතා භාග්‍යක් කොට සලකන අතර තම දරුවන් තම රටට සමාජයට කරන සේවය දැක සතුටු වන පියෙකු ලබන සතුට යම් සේද ඒසේද මාද සතුටට පත්වෙමි.

බෝසත් හෙටක් සංවිධානය දැනට කරගෙන යන සහ නුදුරේදී සිදි කිරීමට යෝජිත ක්‍රියාකාරකම් ගැන දැනටමත් විද්වත් ප්‍රශංසාවෙන් සම්මාන ලද සංවිධානයකි. එම කාරණා වෙනුවෙන් අප කාර්ය මණ්ඩලය කටයුතු කරනුයේ ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න සිතුවිල්ලෙනි. එම නිසා යහපත් අරමුණු වෙනුවෙන් ගමන් කිරීම පහසු වනු ඇත.

ක්‍රියාකාරකම් . . .

* දහම් පාසල් දරුදැරියන්ට නිළ ඇදුම් ලබාදීම.

* හරිත ශ්‍රී ලංකාවක් උදෙසා පැළ සිටුවීම.

* කිරි මව රැක ගැනීමේ අභය දාන පින්කම..

* ළමා සහ වැඩිහිටියන්ගේ ආකල්ප වර්ධනය උදෙසා ධර්ම දේශනා, දැනුවත් කිරීමේ දේශනා, ධර්ම සාකඡ්චා වැනි වැඩසටහන් දියත් කිරීම.

* අප සමාජය මතින් දුරාචාරයෙන් තොර කිරීම සඳහා විවිධ වූ වැඩසටහන්.

* උදවු අවැසි ඕනෑම අයකුට අවස්ථාව අනුව එ වෙනුවෙන් හැකි අයුරින් උපරිම ලෙස සහාය වීම.

Copyright ©2022. All Rights Reserved. CIB Group | Designed & Developed By CIB Digital Office